අතමිටේ හිඟ වුණත් කම් නැත නො වෙන් පඹයෙක් මයෙ පුතේ...


සෑම මිනිසකු ම තම ඇවැතුම් පැවතුම් සඳහා උගත යුතු පාඩම් බොහෝ ය. විඳිය යුතු අත්දැකීම් සේම, ලබා ගත යුතු අවවාද අනුශාසනා ද එමට ය. ඒ පරිචයන්ගෙනි මිනිස් දිවිය හැඩ වැඩ විය යුත්තේ. ඇතැම් හු ඒවා කෙරේ කැමත්තක් නොදක්වා තම ජීවිත නන්නස්තාර කරගනිති. මැණිකක් වුවත් කපා කොටා ඔප මට්ටම් කළ තරමට එහි වටිනාකම ද අධික වෙයි. ජීවිතය ද එසේ ම ය.

විවිධ සුබවාදී දැනුම් සම්භාරයන් ගෙන් අවවාද අනුශාසනාවලින් හා අත්දැකීම් වලින් පිරිපුන් මිනිස් දිවිය හරවත් ය. වැඩදායක ය. පිරිපුන් ය. පරිණත ය. බොහෝ දෙනකු මේවා ගැන නොතකා ජීවිතය ම හරසුන් කර ගන්නා අවස්ථා අපමණි. අනතුරු ව ප්‍රබල ලෙස පසුතැවිලි වෙමින් කල් මැරුවත්, ඉන් අත්වන්නේ පළ රහිත බවකි. පරිහානියකි.

මේ බව යහමින් ම දැන හඳුනන අපේ ගමේ ඇත්තෝ තම දූ දරුවන්ට උක්ත කරුණු කාරණා වටහා දීම තම පරම යුතුකම් සේ සැලකූහ. ඒ යුතුකම් කේන්ද්‍ර ගත කරගෙන බාල වියේ පසුවන දරුවන් ගේ පටන් වැඩි හිටියා දක්වා වැලදිය යුතු හරවත් දිවි ගමනකට අත්‍යවශ්‍ය සියලු දෑ තමා ආදර්ශයේ පිහිටා සදා සම්පාදනය කළහ. ළාබාලයන් තව ම ජීවිතය විඳ ගත්තන් නොවන හෙයින් එදා වැඩිහිටියෝ දරුවන්ට ආදර්ශවත් සෙවණැල්ලක් ම වූහ.

වැඩිහිටි සෙවණේ හැදෙන වැඩෙන බාලක බාලිකාවන්, යොබ්බන යොබ්බනියන් වන තෙක් ද එතැන් පටන් ඔවුන් දීග දලග දෙන තෙක් ද එයින් නොනැවතී දරු මල්ලන් දකින තුරා ද යහ ජීවිත මාර්ගයේ සම්බාධකයන් ජය ගැන්මට මාර්ගෝපදේශකයන් වූයේ දෙමහල්ලන් ය. වැඩිහිටියන් ය. යමක් යමකුට අවබෝධ කළ යුත්තේ අවබෝධ කරන්න අත්දැකීම් ක්ෂේත්‍රයෙන් පරිණත වූ පසු ව ය.

හේතුව හරි හමන් අයුරින් දරුවකුට ජීවිතය විඳ ගැනීමට නම් දෙමහල්ලන් හෝ වැඩිහිටියන් ජීවිත ගමනේ විවිධ පැතිකඩ ඔස්සේ ගැටෙන සුඛ සෝමනස්සයන් මෙන් ම දුක්ඛ දෝමනස්සයන් ද වලදා ඒවායින් පදම්වී සිටිය යුත්තේ ම ය. ඒ බව ගමේ වැඩිහිටියන් එදා මනාකාරයෙන් දැනමුතු වී සිටි බව නම් සැබෑ ය.

එසේ සහතික විය හැක්කේ නිත්‍ය වශයෙන් ම ඔවුන් විවිධාකාරයෙන් වූ දැනුම් සම්භාරයකින් පරිපූර්ණ නිසාවෙනි.

එනිසා වැරදි මාවත හා නිවැරදි මාවත දරුවන්ට පහදා දීමට ඔව්හු සුදුස්සෝ ම වූහ. එමඟින් තම දූ පුතුන්ට වැරදි මාර්ගයෙන් බැහැර ව, නිවැරදි මාර්ගයට පියමනින හැටි හුරු පුරුදු කළේ ය. නිවැරදි මඟ දුර ය.

විවිධ පිරිපතයන් ගෙන් ගහණ ය. ඇරත් පල්ලමක් අත ළඟ නොවේ... කඳු හෙල් තරණය කළ යුතු ය. එහෙත් වැරදි මඟ ඉතා සූකර ය. බාධක ද නොපෙනේ. කඳු වෙනුවට ඇත්තේ පල්ලම් ය. මේ බව පසක් කරමින් දුෂ්කර යහමඟට වඩා අයහපත් මඟ සූකර ය. එහෙත් එහි ගමන් ගන්නෝ ජීවිතයෙන් ද පරාජිතයෝ වෙති. දුෂ්කර මුත් යහ මඟේ යෑමට ඔවුන් තම පුත්‍ර පුත්‍රිකාවන්ට එළි වැටක් වූයේ එහෙයිනි.

ඒ එළි වැටේ දිදුලන ආලෝකයන් කීපයකි. එකක් ජිවිතය පිළිබඳ ආදර්ශයන් ය. අත්දැකීම් තවකකි. එමෙන් ම අනෙක අවවාද අනුශාසනා ය. එවන් ඔවදමක් තම පුතකුට පියකු විසින් දැනුවත් කළ ආකාරයයි මේ සීපදයෙන් දිග හැරෙන්නේ.

“දස අතේ ගිය හොත් පුතේ නුඹෙ 
කුඩිල්ලම දෙදරුම් කතේ
හිතුමතේ වැඩ කළෝතින් අපෙ 
ගමේ කම නුඹෙ නැති වෙතේ

රට තොටේ කපටින් ට රැවටී 
වරිගෙ නැති නොකරන් පුතේ
අතමිටේ හිඟ වුණත් කම් නැත 
නො වෙන් පඹයෙක් මයෙ පුතේ

මේ සීපදය දුරදිග බලා කටයුතු කළයුතු බව විවාහක තම පුතුට දෙන ඔවදමක් ලෙස සැලකිය හැකියි. නන්නස්තාර ව දස අතේ ගියොත් සිදුවන්නේ නුඹේ කැඩිල්ලම (අඹු දරු සහ නිවසම) දෙදරා යයි. එමෙන් ම හිතුමතේට නුඹේ ඕනෑ එපාකම් කරන්නට පටන් ගත හොත් පුතේ අපි මෙතෙක් කල් පණ සේ රැකගත් ගමේ කම නුඹෙන් ලුහුටා යනවාමයි.

සමහර විට රටේ තොටේ ඉන්න කපටින් කෙරේ සිහි දැනගන සිටින්නට ඕනෑ. ඔවුන්ට රැවටී ඔවුන්ගේ වුවමනාවන් පිරිමහ ගන්නට නුඹ දඩමීමා කරගත්තොත් කිසිම අනුමානයක් නෑ අපේ වරිග පරපුර නැති වෙනවා මයි. ඒ නිසා ඒ ගැන සැමවිට ම සිතා මතා සිහි බුද්ධියෙන් යුතුව කපටින්ට නොරැවටී අපේ පාරම්පරික වරිගය ආරක්ෂා කරගත යුතුමයි.

ඒ විතරක් නොව, නොයෙක් අග හිඟ කම්, නොයෙක් නැති බැරිකම් මනුෂ්‍යයකුට ඇති වෙනවා මයි. හැබැයි එසේ වූ විටක අනුන් හමුවේ වැදගැම්මකට නැති නිවට නියාලු වාගේ ම එක එකා ගේ බහට හිසනමා ගෙන එක එකා වෙනුවෙන් නහින්නට මයෙ පුතේ උඹ වගාවකට බැඳපු පඹයෙක් නම් වෙන්නට එපා.

මෙසේ දක්වාලිය හැකි සංසිද්ධීන් බොහෝ කොට එදා කල් යල් බලා පියකු විසින් පුතාට දෙන ලද අපූරුතම ආදර්ශයන් සහිත අවවාදයක් බවත්, වත්මන් සමාජයට ඒවා කදිම ඔවදමින් ම වනවාට කිසිදු සැකයක් නැත.

හේතුව නන්නස්තාර වී ජීවිතය ගැන නොතකන බහුතරය එයින් තම පවුල ම මහා දුක්ඛදායක තත්ත්වයකට ඇද දමන සිද්ධීන් අද අප අතර විරල නොවේ. හිතුමතේට වැඩකර තම දේශයට ම පිළිලයක් වූවන් ද, රටේ තොටේ සිටින කපටි කයිරාටිකයන්ට රැවටෙන්නෝ ද පසුව එයින් නොයෙක් ගැටලුවලට මැදි වී ඇතැම් විට ජීවිත පවා හානි කර ගත්තා.

මේ අතර මතු අවවාදයක් කාටත් ගැළපෙන පණිවුඩයක් ය. එනම් අද මහ ඇත්තන් හමුවේ පඹයන් වී සිටින්නන් බොහෝ ය. මහ ඇත්තන්ට ගැති වී වාසි අපේක්ෂා වෙන් කටයුතු කර පසුව මහ ඇත්තෝ තමාගේ අවශ්‍යතාවය පිරිමසා ගෙන මේ පඹයන් වාගේ වී දිවා රෑ නොබලා ඔවුන්ට වැඩ කරමින් හිස නැමූවත් අවසානයේ මහ ඇත්තන් තමාගෙන් පළවා හරිති. මේවා අප කාහටත් කදිම පාඩම් ය. එහෙයින් සිහියෙන් කටයුතු කිරීම මනා ය.

0 අදහස්:

Post a Comment