හදවත සංවේදී වූ මොහොතක....


ෆෙස්බුකියේ මාගේ මිතුරෙක් දමා තිබු කතාවක් නිසා මා අද දැඩි සංවේගයකට පත්විය..එය දැක මාද මාගේ අතීතයට ඇදීගියේ මං දැයි මා දන්නේ නැත...

----මේ ඔහු දැමු අදහසයි ----

ඒ මීට අවුරුදු පහළොවකට පමණ පෙරය. දත් මදින්නට බෑ කියා අඬද්දිත්, කට මිරිකා දත් ටික මද්දවාගෙන නිල් පාට කොට කලිසමකුයි සුදු ෂර්ට් එකකුයි අන්දවාගෙන ලේන්සුවකුත් සාක්කුවේ එල්ලාගෙන වතුර බෝතලේකුත් බෙල්ලේ දාගෙන නම ගැසූ කාඩ්බෝඩ් කැබැල්ලක් සමග පාසළට (ඇදගෙන) ගිය මුල්ම දවස මට අද වගේ මතකය. දෙක වසරේ අක්කෙක් අවිදින් රෝස මලක් දී සිප පිළි ගත්තා තවත් හොඳට මතකය. එක වසරට ඇතුලත් වන විටත් කිසිඳු අකුරක් හෝ ලියන්නට නොදත් එකම ළමයා මා විය. එදා මා පාසල් ගියේ කිසිඳු බලාපොරොත්තුවකින් නොවූවද, මගේ අම්මාගේ හිතේ කප්පරක් බලාපොරොත්තු තියෙන්නට ඇත. මාව දොස්තරයෙක් ඉන්ජිනේරුවෙක් නොකලත් පොළවට බරක් නොවී ජීවත් වෙන්න පුලුවන් එකෙක් වත් වනවා දැකීම ඇගේ හීනය වන්නට ඇත. මට ඒ බලාපොරොත්තු, ඒ හීන ගැන වැටහෙන්නට බොහෝ කළක් ගත වූවත් යම් මට්ටමකට හෝ මට ඒවා ඉටු කරන්නට හැකි වූවායි සිතිමි. තවත් බෝහෝ දේ කිරීමට ද ඇත. පාසල් ජීවිතේ ඉගැන්වූ කිසිඳු ගුරුවරයෙකුගේ හිත දිනා ගන්නට තරම් වාසනාව නොලද මා ඔවුන් ඉදිරියේ හංවඩු ගැසී සිටියේ හොඳ ළමයිනුත් වලට ඇද දානා එකෙක් ලෙසිනි. එහි එතරම්ම සත්‍යතාවයක් නැතිමුත් ඔවුන්ට මාව එපාවන්නට ලොකුම හේතුවනම් මගේ ඇඟ පුරා ඇති වාචාලකමයැයි සිතමි. 
ආදරයක් නිසා වරක් අම්මාගේ සල්ලිත්, මහන්සියත්, බලාපොරොත්තුත් නැති කර දැමූ මා සමහරක් දේ ලබා ගන්නට විභාගය දෙවැනි කොට කටයුතු කළෙමි. අවසන මට විභාගයත් ඒ දේවලුත් දෙකම නැති වීය. උගත් පාඩම් වලින් සන්නද්ධව මා දෙවැනි වර කිරීමට හිත හදාගත්තේ කිසිවෙකුගේ වත් බල කිරීමක් නිසා නොව කඳුළු සඟවාගේන දුක නොපෙන්වා සිනා වී ගෙන ආයෙත් කරපන් මයේ පුතේ යැයි කියු අම්මාගේ වදන් නිසාය. බොහෝ කලක් පල් වෙවී තිබුණු මොළ ගෙඩියට දස වද දී පදම් කරගෙන මාස හතකින් මා දෙවැනිවර සඳහා සූදානම් වීමි. පළමුවර සමහර දේවල් වෙනුවෙන් විභාගය අත් හැරීයද දෙවැනි වර මා ඒ දේවල් වෙනුවෙන් හා අම්මාගේ සතුට වෙනුවෙන් විභාගයටම සිත් යෙදීය. දැන් මට හොඳ ප්‍රතිඵලයකුත්, අවශ්‍ය අනිත් දේවලුත්, අම්මාට සතුටකුත් ගෙන දෙන්නට ඉඩ ලැබී ඇත. මෙය මා තනිව ලැබූ ජයග්‍රහනයක් නොව බොහෝ දෙනෙක්ගේ උදව් මත ලැබූවකි. ඒ සියළු දෙනාටම මාගේ ප්‍රණාමය. ස්තූතියි. 
ප.ලි - මාගේ ප්‍රථිපලය ය. භෞතික විද්‍යාවට A ද රසායන විද්‍යාවට B ද සංයුක්ත ගණිතයට C ද වේ. එය මහා ලොකු ප්‍රතිඵලයක් නොවූවද, මා බලාපොරොත්තු වන වාස්තු විද්‍යාඥයෙක් වීමට ප්‍රමාණවත් ය. මෙය එතරම් උදම් ඇනීමට තරම් කාරණාවක් නොවූවද, මා මෙය ලියා තැබුවේ මෙය ලබා ගන්නට මා කෑ කට්ට දන්නා නිසාත්, මා මුලදී සිටි තත්වයත් හොඳින්ම දන්නේ මා නිසාවෙනි. ~තිළිණ a.k.a පෙට්ටි.

----මේ මා ඔහුගේ පොස්ට්ටුවට දැමු දීර්ඝ කොමෙන්ටුවයි.....----

දයාබර මිතුරු තිළිණ....,කොහෙන් කොහොම කමෙන්ට් කිරීම ආරම්භ කලයුතු දැයි දෙතුන් වරක් නොවැ දහ දොළොස් වතාමක් සිතමින් මා මා සමගම තර්ක කල ගතිමි...උබේ මේ අදහස කියවමින් මැද හරියට එන විට එතෙක් දෑසේ තිබු කදුළු කැට දෙක කම්මුල් දිගේ රූටා වැටුනේ මන්දැයි සිතා ගන්නට බැරිවිය...බොද වුනු ඇස් දෙකෙන් ඉතිරි ටිකත් කියවා හමාර කලෙමි...ඇසේ ඉත්රිවු තවත් කදුළු කැට දෙකක් ඇදගෙන සිටිනා ෂර්ට්ටුවේ අතෙන් පිහිදා දමමින් මේ අදහස කීමට හිත නැවතත් හදා ගත්තේය......

උබේ කතාවත් සමග මාද මාගේ අතීතයට ඇදීගියේ මං දැයි මා දන්නේ නැත...උබේ අම්මා මෙන් මගේ අම්මාත් කප්පරක් බලාපොරොත්තු හිතේ දරන් මා පාසලට රැගෙන ගිය හැටි මතක් වෙත්දී දැනෙන වේදනාව හා සන්තාපයේ තරම මේ යැයි කියන්නට බැරිය..ඒ මාගේ දයාබර අම්මාත් කුඩා කල සිට මා වෙනුවෙන් වින්ද දුක,මාගේ දයාබර පියා මා පාසල් යැවීමටත් ඉගෙන්විමට්ත් වින්ද දුක මතක් වූ නිසාය...

ගමේ පාසලේ ඉගෙන ගත් මා පහ වසර ශිෂත්වය සමත්ව ''ලොකු'' පාසලකට ඇතුලත් කාරයින් පසු මාගේ අධ්‍යාපනය සදහා අසීමිතව කැපවූ හැටිත්,අසීමිත මුදල් සම්භාරයක් මා වෙනුවෙන් නිර්ලොබිව වැය කල සැටිත්,උසස් පෙළ දක්වාම පෞද්ගලික පන්ති සදහා විශාල මුදලක් කැපකර මා හට ඉගැන්වූ සැටිත් මතක් වෙත්දී මාගේ හදවතේ ගබුරුම තැනින් නැගෙන වේදනාවෙන් මා හද අසීමිතව රිදුම් දෙන්නේ මං දැයි වටහාගන්නට පවා නොහැකි වී ඇත්තේ ඒ තරම් එය මගේ හද කම්පා කර ඇති බැවිනි....

ඔවුන් අපට ඒ කල කැපවීම් වලට සලකන්නට දවසක් එතැයි එකල නොසිතුවත් මෙකල ඒ සිදුකල අසීමිත කැපවීම් එකින් එක මතකයට එන විට හදවත රිදුම් දෙන්නේ ඔවුන් කොතරම් වේදනාවක් විදින්නතිදැයි සිතත්දිය....

කියන්නට තව බොහෝ දේ ඇතත් මේ මොහෙතේ මට ඒ කිසිවක් ටයිප් කර ගැනීමට නොහැකි තරම් මා සංවේදී වී ඇත.....

දයාබර මිත්‍ර තිලින....උබට ජය..!! මුල මතක දරුවෙකුට කිසිදිනෙක වරදින්නේ නැති බව දෙමව්පියද දනී...උබේ අම්මාත් මේ ලියමන කියෙව්වේනම් හඩනාවාට කිසි සැකයක් නැත...මෙතරම් දිග කමෙන්ටුවක් ලියන්න වේ යැයි මා සිතුවේ නැත....අවසාන මට උබට කියන්නට ඇත්තේ එක දෙයකි....

''දයාබර තිලින,උබට් කිසිදින වරදින්නේ නැත...හදවතින් මා උබට සුභ පතන්නේ මාගේම සහෝදරයෙක් යැයි සිතමිනි.....

නුබට ජය සහෝදරයා !!!!

1 අදහස්:

Yasiru Udana said...

හොද ලිපියක්.අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

Post a Comment